බෙල්ජියන් බියර් - I (Trappist/Abbey beer)

"බෙල්ජියන් බියර් තමයි පට්ටම!" කියලා කවුරුහරි කයිවාරු ගහනවා අහලා තියෙනවද? වැඩිය ඒ ගැන හිතන්න යන්න එපා. බෙල්ජියන් බියර් වර්ග මොනවද? ඒවා ඔය කියන තරම් සුවිශේෂද? ඇත්තටම එහෙම සුවිශේෂයි නම් ඒ මොන විදිහේ කාරණා නිසාද කියන එක අපි කතා කරමු. 

ඔව්. බෙල්ජියන් බියර් වල සුවිශේෂි බවක් තියෙනවා තමයි. හැබැයි, කවුරුහරි කෙනෙක් මේසයක් උඩ තියෙන බෙල්ජියන් බියර් එකක් සහ ලංකාවේ ලයන් බියර් බෝතල් දෙකක් පෙන්නලා මේ දෙකෙන් හොඳ/විශේෂ මොකක්ද කියලා ඇහුවොත්, ඒකට සෘජු පිළිතුරක් දෙන්න නම් අමාරු වෙයි. ඒකට හේතුව වන්නේ, බෙල්ජියන් බියර් විශේෂයි කියන්නට හේතුවන කාරණය, තනිකරම ඒ බියර්වල රසය හෝ experience එක මතම රඳා පවතින කාරණාවක් නොවීම. 

බෙල්ජියම කියන්නේ, ලෝකයේ පැරණිම බියර් සංස්කෘතියක් තියෙන රටක්. මේ නිසා, එහේ නිර්මාණය වෙලා තියෙන එහෙටම ආවේණික බියර් මාදිලි සහ ඒවා බිහිවන්නට හේතුවුණු ඉතිහාස කරුණු තුළ සුවිශේෂී රසවත් බවක් තියෙනවා. ඒ වගේම සියවස් ගණනාවක් පුරාවට ඒ breweries තුළ කළ අත්හදාබැලීම් සහ ඒ තරම් දිගු කාළයක් පුරාවට පරිණාමය වීම තුළින් බිහිවුණු expertise නිසා ඒ බියර් වර්ග වල රසයේ විශේෂ බවක් තියෙන එකත් සාමාන්‍ය කාරණාවක්. ඒත්, ඒකෙන් කියන්න බැහැ, වෙනත් රටක අළුත් බියර් නිෂ්පාදකයෙක් හදන බියර් වලට වඩා මේවා හැම විටම සුපිරියි කියලා. ඒක තීරණය වන්නේ, ඒවා මිළදී ගන්නා පුද්ගලයාගේ රසවිඳීම අනුවයි. 

ඉතින් මේ ටික හිතේ තියාගෙනම, අපි බෙල්ජියන් බියර් ගැන පොදුවේ කතා කරමු. ඊට පස්සේ, ඒවායේ එක් එක් මාදිලි සහ ඒවා නිෂ්පාදනය කිරීමේදි හමුවන සුවිශේෂී කාරණා ගැනත් කතා කරලා ඊට සම්බන්ධ රසවත් ඉතිහාස කතා තිබුණොත්, ඒ ගැනත් විස්තර ඇතිව කතා කරමු.

"BELGIANS" කියලා කවුරුහරි පොදුවේ බියර් ගැන කතා කළොත්, ඒ අය ඒ කතා කරන්නේ Ale වර්ගයක් ගැන කියන එක මතක තියාගන්න. බෙල්ජියන් කියලා අපි හඳුන්වන විශේෂ බියර් වර්ග බොහෝමයක් හැදිලා තියෙන්නේ ලෝකයේ Lager නිෂ්පාදනය හොයාගන්නට කළින්. ඒකෙන් කියන්නේ නෑ බෙල්ජියමේ Lager වර්ග නිෂ්පාදනය නොකරන බවක්. හැබැයි, සාම්ප්‍රදායිකව Belgians කියලා හඳුන්වන බියර් වර්ග වන්නේ බොහෝවිට Ale වර්ගයි.

ඉතින් Ale වල උපකුලකයක් වුණ Belgians වලට අයත් එක් එක් බියර් මාදිලි තිබෙනවා.

මේ ලිපියේදි අපි කතා කරමු, Abbey/Trappist මාදිලියට අයත් බියර් වර්ග ගැන.

Abbey/Trappist Beer (of "Belgian")

Trappist යනු ක්‍රිස්තියානි ආගමේ එක්තරා නිකායක්. (19 වැනි සියවස මුල) බෙල්ජියමේ Trappist beer සංස්කෘතිය ආරම්භ වෙලා තියෙන්නේ මේ Trappist ආගමික ආශ්‍රම තුළයි. ඒ නිසා මේ බියර් Trappist beer නමින් ඒ කාලයේ ප්‍රවලිත වෙලා තියෙනවා. නමුත්, Trappist නොවන වෙනත් කිතුණු නිකායන්ට අයත් ආශ්‍රම (abbeys) වලත් මේ විදිහේම බියර් නිෂ්පාදනය පටන් ගැනීමත් සමගම, Abbey Beer නමින් පොදුවේ තවත් විශාල කුලකයක් නිර්මාණය වෙලා ඒකේ උප කුලකයක් විදිහට Trappist beer ශ්‍රේණිගත වෙලා තියෙනවා

කොහොම නමුත්, මේ වර්ගීකරණය කියන්නේ බියර් එකක රසය හෝ මධ්‍යසාර ප්‍රතිශතය වැනි ලක්ෂණ අනූව සිදුකරන ලද්දක් නෙවෙයි. මෙතැනදී, යම් බියර් එකක් Trappist හෝ Abbey beer එකක් වශයෙන් සුදුසුකම් ලබන්නට නම්, 
  • ඒවා කිතුණු ආගමික ආශ්‍රමයක නිපදවනු ලැබීම, 
  • කිතුණු පාදිලිතුමන් මේ බියර් නිෂ්පාදන කාර්යයන්ට සෘජුව දායක වීම සහ 
  • ඒවා අලෙවිකොට ලබාගන්නා මුදලින් කොටසක් ඒ ආශ්‍රමයන්ගේ දියුණුවට යෙදවීම 
වගේ කොන්දේසි කිහිපයකට යටත් විය යුතුයි.

මේ ගණයට අයත්වන බියර් වර්ග, ඒවායේ රසය, වර්ණය, ඝනත්වය, දුස්ස්‍රාවිතාව හෝ මධ්‍යසාර ප්‍රතිශතය වැනි ලක්ෂණ අනූව විවිධ බියර් මාදිලි වලට බෙදා නම් කරලා තියෙනවා. උදාහරණ විදිහට,

  1. Belgian Dubbel
  2. Belgian Tripel
  3. Belgian Quadrupel (පසුකාලීනව හඳුන්වා දුන්)

කියන බියර් මාදිලි ටික සලකන්න පුළුවන්. 

මීට අමතරව, යම් සංවත්සර සඳහා මුදාහල බියර් වර්ග වගේ විශේෂ බියර් මාදිලි එහෙමත් තියෙන්න පුළුවන්. වර්ණය අනූව ඉහත සඳහන් බියර් මාදිලිම වුණත් බෝතල්වල ඇසුරුම් කරද්දී, Blanche (පිදුරු වැනි කහ පැහැති), Blonde (රන්වන් පැහැති), Brune (අඳුරු පැහැති) වශයෙන් නම් කරලා තියෙන්නත් පුළුවන්.

මේ බියර් බොහෝමයක් පොදුවේ bottle-conditioned කරන ලද ඒවා වීම විශේෂත්වයක්. (Bottle-conditioning කියන්නේ මොකක්ද කියලා අපි කළින් ලිපියේදි විස්තර ඇතිව සාකච්ඡා කරපු බව ඔබට මතක ඇති).


BELGIAN DUBBEL

Belgian-style Dubbel කියන්නේ මධ්‍යසාර ප්‍රතිශතය තරමක් වැඩි (6.5~7.5%) තද තැඹිලි සහ දුඹුරු මිශ්‍ර පැහැයක් ගන්නා Ale වර්ගයක්. ඒ වගේම මේක මෝල්ට් සහ යීස්ට් මූලික රසයන්ගෙන් බහුල වූ මාදිලියක්. බොහෝ වෙලාවට රට ඉඳි, දුඹුරු සීනි, උණු කළ සීනි, පාන් වැනි මෝල්ට් පදනම් කරගත් සුවඳවල් සමගින්, ලෙමන් වැනි පැඟිරි සුවඳවල් සහ කෙසෙල් සහ මඳ වශයෙන් කරාබුනැටි වැනි එස්ටර සුවඳවල් මේවායේ දකින්න පුළුවන්. නමුත්, අවශේෂ සීනිවලින් එන පැණි රසය රඳා නොපවතින වියළි අවසානයක් (dry finish) ලබා දෙන බියර් මාදිලියක් විදිහට මේක හඳුන්වන්න පුළුවන්.

මේකේ wort එක හදාගන්න භාවිතා කරන මෝල්ට් සංයුතිය විවිධ මෝල්ට් වර්ග පහකින් පමණ සමන්විතයි. නමුත්, මේකට භාවිතා කරන්නේ බොහෝ වෙලාවට එක් hops වර්ගයක්. මේක ferment කිරීමට සාමාන්‍ය විදිහටම යීස්ට් භාවිතා කරන අතර, විශේෂ අමුද්‍රව්‍යයක් විදිහට Belgian Dark Candy Syrup ලෙස හඳුන්වන අමතර සීනි ද්‍රාවණයකුත් මේක නිපදවීමේදි boiling kettle එක නිවී යන අවස්ථාවේදි එකතු කරනවා. 

බියර් එක තුළ දුඹුරු සීනි හෝ පැණි වගේ සුවඳවල් නිර්මාණය වුණත්, බියර් එකේ ඇත්තටම පැණි රස සහ කටේ ඇලෙන ගතියක් ඉතිරිවුණොත් (විශේෂයෙන්ම මේ වගේ ඉහල මධ්‍යසාර ප්‍රතිශතයක් එක්ක) ඒක රසවිඳින කෙනාගේ අවසාන අත්දැකීම ඒ තරම් ප්‍රසන්න එකක් නෙවෙයි. ඒ නිසා, මෙය නිසියාකාරව පූර්ණ-පැසවීමකට සලස්වා, රසයෙන් වියළි කරවා condition කර ගැනීම වැදගත්. 

සීනි අධික ද්‍රාවණයක් පූර්ණ වශයෙන් (හෝ ආසන්නව) වියලි රසයට පත්වන තුරු condition කර ගැනීමට යම් අමතර කාලයක් ගතවෙනවා. Condition කරන කාළ සීමාව දිගු වන තරමටම, බියර් එකට ඔක්සිජන් වායුව එකතු වන්නට තියෙන ඉඩකඩ වැඩි වෙනවා. ඉතින් මේ කාළ පරාසය පුරාවටම, යීස්ට් වලට අවශ්‍ය ප්‍රමාණයට පමණක් oxygen ලැබෙන්නට සැලැස්වීමත් ඉතාම වැදගත් කාරණාවක්. මොකද, වැඩිපුර oxygen කළවම් වුණොත් මේ වැඩේ සම්පූර්ණයෙන්ම අසාර්ථකයි−wort එක එහෙම පිටින්ම විසිකරන්න වෙනවා. ඉතිං, ඒක ගැනත් සැලකිලිමත් වෙලා, මේ විදිහට නිවැරදි මට්ටමේ රසය දක්වා පමණක් condition කරගැනීමේ කළාව මේ අය හොඳින් ප්‍රගුණ කරලා තියෙන නිසා, මේ වෙළඳනාම සහ ඒ බියර් වල consistency එක ගැන පොදුවේ තියෙන විශ්වාසය සහ පිළිගැනීම අති ඉහළයි.

උදාහරණ:

La Trappe Dubbel // 7% ABV

  • Aromatic-profile: එස්ටර (ඉදුණු කෙසෙල් සහ මල්බෙරි), මෝල්ට් (පාන්, පැණි හෝ උණු කළ සීනි කැරමල්)
  • Taste-profile: පැණි රසය සහ මඳ ආම්ලික/ඇඹුල් රස කළවමක් වගේ හිතුණත් මේක ඉතා වියළි රසැති බියර් එකක්. (ඒ කියන්නේ, සීනි සුවඳ ආවට සීනි ඉතිරිවෙලා නැති තරම්). Hops සහ Dark Malts වලින් එන තිත්ත රසය යන්තමින් දැනෙන්න තියෙනවා.
  • Mouthfeel: දුස්ස්‍රාවිතාව මධ්‍යමයි. (කරාබුනැටි මෙන්) දිවට පොඩි සැරක් දැනෙන. කාබන් ඩයොක්සයිඩ් වලින් හැදුණු බුබුළු දමන ගතිය තරමක් හොඳින් පවතින. (කජු-පුහුලන් මෙන්, නමුත් ඉතාම සුළු වශයෙන්) යම් කහට ගතියක් දැනෙන. වියළි අවසානයක් ලබා දෙන බියර් එකක්.
  • Colour: රතු පාටට හුරු තද, එනමුත් විනිවිද පෙනෙන දුඹුරු පාටක්.


BELGIAN TRIPEL

මෙයද මෝල්ට් සහ යීස්ට් මූලික කරගත් ලක්ෂණ වලින් සමන්විත වීම නිසා, ඉහත සඳහන් කළ මාදිලියට යම් තරමක් සමාන වුණත් මෙහි මධ්‍යසාර ප්‍රතිශතය තරමක් ඉහළයි (8%-9%). ඒත්, වර්ණය අතින් ගත්තම, Dubbel වගේ දුඹුරු වර්ණයක් Tripel වල දකින්න නැහැ. එය රන්වන් කහ පාටකින් සමන්විත වන අතර, බොහෝදුරට පොඩි hazy/cloudy ගතියක් වගේ දකින්නත් පුළුවන්.

උදාහරණ:

La Trappe Tripel // 8% ABV

  • Aromatic-profile: දුර්වල එස්ටර (කෙසෙල්, පීච්) සහ මෝල්ට් (පාන්) සුවඳවල් වලින් සමන්විතයි.
  • Taste-profile: සංකීර්ණයි. ඉතා සුළු පැණිරස සහ සහ ඇඹුල් රසැති ආරම්භයක් ලබා දෙන අතර, ඉතා ඉක්මණින් වියළි රසයට පත්ව සියුම් තිත්ත (hops) රසයක් සමග සමතුළිත බවට පත්වේ.
  • Mouthfeel: දුස්ස්‍රාවිතාව තරමක් අඩුයි ඒත් කිසිම දියාරු ගතියක් නැහැ (Thin-to-Medium body). (කරාබුනැටි මෙන්) දිවට පොඩි සැරක් දැනෙන. කාබන් ඩයොක්සයිඩ් වලින් හැදුණු බුබුළු දමන ගතිය තරමක් හොඳින් පවතින. (කජු-පුහුලන් මෙන්, නමුත් ඉතාම සුළු වශයෙන්) යම් කහට ගතියක් දැනෙන. වියළි අවසානයක් ලබා දෙන බියර් එකක්.
  • Colour: රන්වන් කහ පැහැති, එනමුත් විනිවිද පෙනෙන ගතිය අඩු (දුම්මල වැනි) පාටක්.

BELGIAN QUADRUPEL

Belgian-style Quadrupel කියන්නේ ඇල්කොහොල් ප්‍රතිශත මට්ටම 10% හෝ ඊට තරමක් වැඩි, තද රතු-දුඹුරු පැහැති බියර් එකක්. මෙය, ඉදුණු කෙසෙල් සහ කරාබුනැටි වැනි එස්ටර සහ උණුකළ සීනි කැරමල් හෝ දුඹුරු සීනි වැනි මෝල්ට් මූලික සුවඳවල් වලින් සමන්විතයි. Hops වලින් එන තිත්ත ගතිය සුළු පමණින් මුසුවී යම් සමතුළිත බවක් ලබා දුන්නත්, බොහෝවිට පැණි රසය තමයි වඩාත් ඉස්මතුවන්නේ. බියර් එකේ සාමාන්‍ය ඇල්කොහොල් ප්‍රතිශතය එක්ක බලද්දි, (සාමාන්‍යයෙන් ඒ ඇල්කොහොල් ප්‍රතිශත මට්ටමේ අනිත් බියර් වර්ග එක්ක සංසන්දනය කළොත්) Quadrupal වල body එක හෙවත් ඝන බව තරමක් අඩුයි කියලත් හිතෙන්න පුළුවන්.

උදාහරණ:

La Trappe Quadrupel // 10% ABV

  • Aromatic-profile: ඉතාම ප්‍රබල (එස්ටර) ඉදුණු කෙසෙල් සුවඳින් වලින් සමන්විතයි.
  • Taste-profile: මෙය රසවිඳීමේදි පැණිරස මූලික වන අතර, බියර් උගුරක් පානය කර අවසන් වූ පසුව තාවකාලිකව පවතින සියුම් තිත්ත (hops) රසයක් සමගින් වියළි රසය දක්වා පරිවර්තනය වේ.
  • Mouthfeel: දුස්ස්‍රාවිතාව සහ ඝනකම මධ්‍යමයි (Medium-bodied). (කරාබුනැටි මෙන්) දිවට සැරක් දැනෙන ගතිය පවතී.
  • Colour: තරමක් තද රතු-දුඹුරු පාට.
  • ඉතා දැකුම්කළු Lacing (කැටයම් වැනි, වීදුරුවට බැඳෙන සුදු පෙණ) එකක් සමග දිගටම එකාකාරීව පවතින සියුම් පෙණ සහ වීදුරුව පතුලේ සිට දිගටම ඉහලට එන බුබුළු වලින් (bubble-stream) සමන්විතයි.
ඉතින්, අපි අද සරලව කතා කළේ, බෙල්ජියමේ නිපදවන බියර් වර්ග අතුරින් Trappist/Abbey beer කාණ්ඩයට අයත් වඩාත්ම ප්‍රචලිත බියර් මාදිලි තුනක් ගැනයි. මීළඟ ලිපියේදිත්, මේ වගේම බෙල්ජියන් කාණ්ඩයට අයත් වෙනත් ප්‍රචලිත බියර් මාදිලි කිහිපයක් ගැන කතා කරමු.


Comments