"බියර්" ගැන මොකද හිතන්නේ?

පොඩිකාලේ අපි ලෝකයේ පැරණි ශිෂඨාචාරයන්, විවිධ සංස්කෘතික අංග සහ සොබාදහමේ පුදුමාකාර තැන් ගැන අහන්න ආසයි. ඒ ඒ තැන් වල සංචාරය කරලා අත්දැකීම් එකතු කරගන්නත්, අද වෙද්දි, අපි තමන්ට පුළුවන් උපරිමයෙන්ම උත්සාහ කරනවා. ඓතිහාසික වටිනාකමක් ඇති යුරෝපයේ විසිතුරු නගරයක් වගේ තැනක ඒ මේ අත නිදහසේ ඇවිදිමින් ගත කෙරෙන දවසක් ගැන නිකමට හිතලා බැලුවොත්, ඒ දවස ඇතුළත, රසවත් අහාර-පාන වලින් පිරුණු අවන්හල් වල ඔබ විසින් ගත කෙරෙන කාලයත් ඉතාම සුවිශේෂයි. ඒ මොකද කිව්වොත්, ඔබ ඒ ගත කරන දවසේ කාලගුණ ස්වභාවය, ඒ දවස ඇතුළත ඔබ ඇවිදින දුර සහ ඒ ඒ ඇවිදින තැන් අනූව ඔබේ අත්දැකීම තව තවත් වර්ණවත් කරගන්නට හේතුවන ප්‍රධාන දෙයක් තමයි ඒ ගමන අතරතුර ඔබට හමුවන "ආහාර-පාන". ඒ පමණක් නෙවෙයි. ඔබ එවැනි පැරැණි නගරයක අවන්හලකට ගොඩවුණාම, සමහර වෙලාවට ඒ බොහෝ තැන් වලට පසුබිම් වුණු රසවත් ඉතිහාසයක් සහ සංස්කෘතික වටිනාකම් ගැනත් ඔබට දකින්න, අහන්න ලැබුණොත් ඒක සාමන්‍ය දෙයක්. "බියර්" කියන්නේ, අන්න ඒ වගේ context එකකදී ඉතාම සුවිශේෂී තැනක් හිමි කරගන්නා දෙයක්. 

Photo by radovan on Unsplash

ලංකාවේදි අපට දකින්න ලැබෙන්නේ industrial නිෂ්පාදන ගණයට වැටෙන ලාගර් බියර් කිහිපයක් සහ එක හොඳ ස්ටවුට් බියර් එකක් පමණක් නිසා මට බියර් ගැන හොයලා බලන්න හෝ අධ්‍යයනය කරන්න උනන්දුවක් කොහෙත්ම තිබුණේ නෑ. ලංකාවෙදි බියර් කියන නම ඇහෙනවටත් අකැමතිව හිටපු මම, 2021 වෙද්දි, බියර් ගැන සිංහලෙන් බ්ලොග් එකකුත් ලියන්න හිතපු එක ගැන මටත් පුදුමයි. ඒත් ඒක මධ්‍යසාර පානයක්ම හෝ "කෙළින් හිටගන්න බැරි වෙන ගානට වෙරි වෙන්න" උපකාරී වන දෙයක් විදිහට නොහිතුවොත්, "බියර්" ගැන කතා කරන එකත් හරිම interesting දෙයක්. 

බියර් කියන්නේ, මෑතක් වෙනතුරුම මට කිසිම කැමැත්තක් තිබුණ දෙයක් නෙවෙයි. මම ඉඳලා හිටලා හරි බියර් වීදුරුවක් අතට ගත්තා නම්, ඒ යාළුවෝ එක්ක කොහෙට හරි යැවෙන වෙලාවකදි socialise වීම සහ කාලය ගත කිරීමටම පමණයි. ඒ හැම වෙලාවකම, බොහෝ අයට වගේ, අර බියර් එකේ තිත්ත කැපිලා යන්න බයිට් එකක් තිබීමත් අත්‍යාවශ්‍ය දෙයක් වුණා. ඒ වගේ social gathering එකක තියෙන overall experience එක enhance කර ගන්නට, සමහර දවස්වලදි, අහඹු විදිහට (ටිකක් වැදුනම) ඒ බියර් වීදුරු කිහිපය උදව් නොවුණාමත් නෙවෙයි. නමුත්, ඒක මධ්‍යසාර ඇල්කොහොල් වල effect එක නිසා දැණෙන relaxed ගතියට එහා යමක් නෙවෙයි කියලයි මට හිතුණේ. ගොඩක් අය කියනවා වගේ, හැම බියර් එකකම, මට දැනුණේ නම්, බියර් වලින් එන සාමාන්‍ය ලෙමන් මුසු මෝල්ට් සුවඳ හෙවත් "බියර් ගඳ" සහ "තිත්ත" ගතිය විතරයි. 

එක දවසක් හවස මම මගේ යාළුවෝ දෙන්නෙක් එක්ක අපි ජීවත්වෙන ප්‍රදේශයේ ඉතා පැරණි ගණයේ English Pub එකකට ඇතුළු වුණා. ඒක කෑම කියලා කිසිම දෙයක් serve කරන තැනක් නෙවෙයි. ඒ පොඩි ටවුමේ pubs, restaurents කියලා ගොඩක් තිබුණෙත් නැති නිසා, එතැනින් අපි beer pints තුනක් ඇණවුම් කළා. යාළුවෝ දෙන්නා සාමාන්‍ය ලාගර් බියර් එකක් තෝරා ගනිද්දි, මම එදා නිකමට වගේ තෝරාගත්තේ English Cask Ale වර්ගයේ බියර් එකක්. ඒක බොන්න ගනිද්දි තමයි මට තේරුණේ අළුත් දෙයක් අත්හදා බලන්න ගිහින් ලොකු වැරැද්දක් කරගත්තා කියලා. අතට ගත්ත නිසා බීලා ඉවර කරන්න උත්සාහ කළත්, මට ඒක නම් බොන්න පුළුවන් වුණේ නෑ. ඒක තිත්තක්ද, කහට ගතියක්ද, පැඟිරි ගතියක්ද කියලාවත් හිතාගන්න බැරි ගානටම ජරාවක් කියලා තමයි එදා මට දැණුනේ. වට පිට බලද්දි, අනිත් මිනිස්සු නම් කිසි අවුලක් නැතුව, "බයිට්" එකට කෑම මොකුත් නැතිව හොඳට Cask Ale ජාතියේ බියර් බොනවා. අපි තුන්දෙනා උන්ටත් හිනා වෙවී කතා වුණේ, "බයිට් එකට කෑම මොකුත් නැතුව මුන් මොකට pubs කරනවද? මිනිස්සු මේ ජරාව කොහොම බොනවද දන්නේ නෑ" කියලයි. ඒත් ඇත්තටම වැරැද්ද තියෙන්නේ උන්ගේ නෙවෙයි, අපි ලංකාවේදි බොන්න පුරුදු වෙලා ඉන්න විදිහෙයි කියන එකත් අපි ඒ එක්කම කතා වුණා. 

එදා මම ඒ Cask Ale pint එකෙන් බාගෙකට වඩා, වීදුරුව පිටින්ම එහෙම තියලා ආවා. ඒ වුණත්, පොදුවේ "බියර්" ගැන මට තිබුණු මතය සහ අකැමැත්ත වෙනස් කරන්න හේතු වුණේත් ඒ අත්දැකීමම තමයි.

අපේ පළවෙනි මාතෘකාවට මේක හොඳ පිවිසුමක් කියලා මට හිතෙනවා. මේක ඔයාලටත් වෙන්න පුළුවන් දෙයක්. නිකමට හිතන්න, ඔයා හොඳට ඉර පායලා තියෙන දවසක වෙන රටක නගරයක් තුළ ඇවිදලා සෑහෙන්න මහන්සි වෙලා ඉන්න මොහොතක, සාමාන්‍ය lager එකක taste profile එක බලාපොරොත්තුවෙන් වැරදිලා වගේ වෙනස්ම රසයක බියර් වර්ගයක් මිලදී අරන් තිබුණොත්, ඒ බියර් එක මොන තරම් හොඳ ratings තියෙන එකක් වුණත් "මේ මොන ජරාවක්ද" කියලා ඔයා කළ්පනා කරන්න ඉඩ තියෙනවා. ඒ නිසා කලින්ම බලමු ප්‍රධාන වශයෙන්ම බියර් නිෂ්පාදනය බෙදෙන කොටස් දෙක ගැන. 

Beer, Lager සහ Ale

බියර් ගැන නොදන්නාම කෙනෙක් වුණත් මේ චවන තුන නම් අහලා ඇති. අඩු තරමින් ඔයාලා ලංකාවේ අලියා Ginger Beer සහ අලියා Ginger Ale නිසා හරි මේ වචන අහලා තියෙන්න ඕනි. අලියා Ginger Ale එක ඒ තරම්ම ලොකුවට විකුණුනේ නැතත්, ඕකට කවුරුහරි "අලියා, ජින්ජර් අලේ" කියලා විහිළු කරන එකක් හරි ඔයාලා අහලා ඇති.

කොහොම නමුත්, ලෝකයේ කලින්ම නිෂ්පාදනය වෙලා තියෙන බියර් ජාතිය තමයි Ale කියන්නේ. ඇත්තම කිව්වොත්, Beer කියන වචනය එන්නත් කළින් මේ පානය මිනිස්සු හඳුන්වලා තියෙන්නේ Ale විදිහටයි. ඒත් අද වෙද්දි, Beer කියන දේ ප්‍රධාන කුලකය බවට පත්වෙලා Ale සහ Lager කියන දෙක Beer නිෂ්පාදනය බෙදෙන ප්‍රධාන උපකුලක දෙක බවට පත්වෙලා.

සමහරු කියන විදිහට Ale සහ Lager කියන්නේ Beer Style දෙකක්. ඒත්, styles දෙකක් කියනවා වෙනුවට, Ale සහ Lager කියන්නේ, "ප්‍රධාන වශයෙන්ම බියර් නිෂ්පාදනය බෙදෙන කොටස් දෙක" කියන යෙදුම මම භාවිතා කළේ ලොකු හේතුවක් ඇතිවයි.

ලෝකයේ beer styles ගොඩක් තියෙනවා. ඒත් ඒ හැම style එකකම බියර්, එහි නිෂ්පාදන ක්‍රියාවලියට අදාල යම් පොදු කාරණාවක් මත එක්කො Lager එකක්, එහෙම නැතිනම් Ale එකක්. අන්න ඒ නිසයි Beer Styles සහ Ale/Lager කියන දේ පටලවන්න හොඳ නැත්තේ. යීස්ට් (Yeast) කියන්නේ ඕනෑම බියර් එකක් නිෂ්පාදනය කිරීමට යොදාගන්නා ප්‍රධානම සංඝඨක හතරෙන් එකක්. යම් beer එකක් Ale ද Lager ද එහෙම නැතිනම් Hybrid ද කියන එක තීරණය වන්නේ, එය නිෂ්පාදනය කිරීමට යොදාගන්නා යීස්ට් ප්‍රභේද අනූවයි.

Ale yeast යොදා (හෝ ලැබෙන්නට සලස්වා) නිෂ්පාදනය කරන බියර් වලදි Top-Fermentation කියන ක්‍රියාවලිය යොදාගන්නවා කියලා ඔබට අහන්නට ලැබේවි. මේක සරලවම ලංකාවේ රා නිපදවීමේදි ක්ෂුද්‍රජීවී ක්‍රියාකාරිත්වයෙන් තෙලිජ්ජ පැසවන්නට හැරීම වගේම තමයි. එතැනදී, මේ ක්‍රියාවලියට අදාල ක්ෂුද්‍රජීවී විශේෂය, ඒ පැසවන්නට නියමිත ද්‍රාවණයේ මතුපිටින් පාවෙමින් ක්‍රියාකාරීවීම තමයි Top-Fermentation කියන්නේ. සාමාන්‍යයෙන් ගොඩක් Ale වර්ග නිෂ්පාදනයේදි ඒ නිෂ්පාදකයා විසින් යම් yeast strain එකක් ඒ ද්‍රාවණය මතුපිටට එකතු කරනවා. (නමුත්, Farmhouse Ale හෝ Lambic වගේ සමහර styles වල Ale වර්ග නිෂ්පාදනය කරන්නේ ස්වභාවික පරිසරයේ ඇති yeast වර්ග ඉබේම එකතුවන්නට ඉඩ හැරීමෙන්). 

මේ කියන Top-Fermentation කියන ක්‍රමයට ප්‍රතිවිරුද්ධව Bottom-Fermentation සඳහා යොදාගත හැකි Yeast වර්ග තමයි Lager yeasts කියන්නේ. ඉතිං, ඒ විදිහට නිපදවන බියර් වර්ග තමයි Lager බියර් වර්ග විදිහට ඔබ මිලදී ගන්නේ. මේ Lager beer වුණත් ඔබ මිලදී ගන්නා විට Pilsner හෝ Helles වගේ, ඒවායේ බොහෝ styles ඔයාට දකින්න ලැබේවි. Ale යටතේ එන විවිධ බියර් අතර තියෙන රසයේ වෙනස්කම් තරමට distictive නැතත්, හරියට beer tasting කරන්න පුරුදු වූණාට පස්සේ, ඔයාට කිසි ආයාසයක් නැතිව lager yeast වලින් හදන beer styles දෙකක් අතර වෙනස කියන්නට පුළුවන් වේවි. 

ඒකේ තියෙන හොඳම දේ තමයි, ඔයා යාළුවෝ එක්ක චාරිකාවක් යන වෙලාවක හෝ pub එකකට ගොඩවුණ වෙලාවක, ඒ පරිසරය සහ මොහොත අනූව හැමෝටම එයාලගේ mode එකට ගැලපෙන හොඳම beer එක ඒ ඒ අයට තෝරලා දීලා, ඉතා සියුම් විදිහට overall experience එක enhance කරන්න ඔයාට පුළුවන් වේන එක.

ඉතින් අපි ඊළඟ article එකේදි මේ ගැන තව විස්තර ඇතිව දිගට කතා කරමු. 



Comments