Lambic නැමැති බියර් මාදිලිය ඕනෑම රටක ඕනෑම පළාතක නිපදවන්නට තහනමක් නැතත්, සාම්ප්‍රදායික රස සංයෝජනය සහිතව original Lambic බියර් නිපදවිය හැක්කේ බෙල්ජියමේ පමණයි. මේ නිසා, ඔබට මෙය රසවිඳින්නට අවස්ථාවක් ලැබීමත් ඉතාම දුර්ලභ විය හැකියි. ඒකෙන් කියවෙන්නේ නැහැ "Lambic බියර් කියන්නේ මේ ලෝකෙ තියෙන සුපිරිම බියර් මාදිලිය හෝ ඒවා බීලා නැතිනම් වැඩක් නෑ" වගේ අදහසක්. නමුත්, ඔබ Lambic බියර් ගැන අහලා දැනගෙන හිටියොත්, ඔබට මේ මාදිලියේ බියර් එකක් දකින්නට ලැබෙන වෙලාවක, හැමදාම බොන වෙනත් මාදිලියක බියර් එකක් මිළදී ගන්නවා වෙනුවට මෙයින් එකක් අරගෙන මේවා මොන වගේද කියලා බලන්නට පුළුවන්.
මේක වෙනත් රටක නිපදවන්නට බැරි හේතුව වන්නේ බෙල්ජියමේ යම් ප්‍රදේශයකට පමණක් සීමාවූ පාරිසරික සාධක කිහිපයක් සහ මේ බියර් නිපදවීමට යොදාගන්නා ක්‍රමය ඒ පාරිසරික සාධක මත තදින් බැඳී පැවතීමයි. කොහොම නමුත්, මේකේ ආරම්භය පිටුපස හොඳ ඉතිහාස කතාවකුත් තියෙන නිසා, Lambic කියන්නේ එක්තරා සුවිශේෂී බියර් මාදිලියක් යැයි පැවසීම සාධාරණයි.
Lambic බියර් නිෂ්පාදනයේදි එහි පැසවීම (fermentation) සඳහා යොදාගන්නේ බෙල්ජියමේ මේ ප්‍රදේශයටම ආවේණික වූ wild yeast විශේෂයක්. ඒ වගේම ඒ පරිසරයටම ආවේණික බැක්ටීරියා වල උපකාරයත් මේ සඳහා ලබා ගන්නවා. ඊට අමතරව, මේ ජාතියේ යීස්ට් සහ බැක්ටීරියා වර්ධනය වන සෘතුව තෝරාගෙන ඒ කාල සීමාව තුළ පමණක් මේ බියර් නිෂ්පාදනය සිදු කිරීමත් වැදගත්. ඒ නිසා, සාමාන්‍යයෙන් බියර් නිපදවීමට යොදාගන්නා බාර්ලි, හොප්, යීස්ට්, ජලය සහ තිරිඟු වලට අමතරව බෙල්ජියම සහ ඊට අදාල සෘතුවත් මේ මාදිලියේ බියර් නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය කියලත් කාටහරි කියන්න පුළුවන්.
Lambic බියර් ferment කරන්නට යොදාගන්නේ අනිත් බියර් ferment කිරීමට යොදාගන්නා විදිහේ frementation vessel එකක් නෙවෙයි. මේ සඳහා යොදාගන්නේ ගැඹුරින් අඩු, ඒ වගේම වායුගොලයට විවෘත වන වර්ගඵලය ඉතාම වැඩි තටාකයක් වගේ එකක්.
එහි අරමුණ තමයි, වායුගෝලය ඔස්සේ පාවී එන ස්වභාවික යීස්ට් සහ බැක්ටීරියා වලට හැකි උපරිමයෙන් ඊට අවස්ථාව සලසා දීම. උදාහරණයක් විදියට ජෝගුවකට උණු තේ එකක් දාගෙන බොන්න අමාරු නිසා පීරිසියකට දාගෙන බොනවා වගේ වැඩක්. අවම කාලයක් ඇතුළත, වායුගෝලයේ සිසිලස තේ වලට සම්ප්‍රේෂණය වන්නට පීරිසියේ පුළුල් වර්ගලය උපකාරී වෙනවා වගේ, මෙතැනදී වායුගෝලයේ සැරිසරන යීස්ට් සහ බැක්ටීරියා වලට අවම කාලයක් තුළදී wort එකට ප්‍රවේශවන්නට ඉඩකඩ මේ මගින් සලසා දෙනවා.
Lambic මාදිලියේ බියර් සියල්ලම වගේ ඉතාම ඇඹුල් රසයක් ගන්නා ඒවා වීම විශේෂත්වයක්. ඒක එහෙම වෙන්නේ මේ ස්වභාවික යීස්ට් සහ බැක්ටීරියා භාවිතා කිරීමයි. Lambic වගේම මේ ආකාරයට ස්වභාවික යීස්ට් සහ බැක්ටීරියා යොදාගෙන නිපදවන Farmhouse Ale, Saison වගේ ලෝකයේ අනිත් බියර් වර්ගත් මේ වගේම ඇඹුල් රසැති බියර්.
විවිධ කාල වලදී ස්වභාවික යීස්ට් සහ බැක්ටීරියා යොදාගෙන හදන බියර් එකක් මාදිලියක් විදිහට Lambic බියර් යම් brand එකක් යටතේ වෙළඳපොලට එවද්දි ඒකේ consistentency එක ගැන ලොකු ගැටළුවක් තියෙනවා. උදාහරණයක් විදිහට, මේ අවුරුද්දේ බෙල්ජියමට එන සංචාරකයෙක් lambic බියර් එකක් බීලා ඒ ගැන ඉතාම පැහැදිලා තමන්ගේ රටට ගිහින් ලබන අවුරුද්දෙත් ඒ තැනටම ඇවිත් ඒ බියර් එකම බීලා "මේ මොන මල ජරාවක්ද?" කියලා අහන්න ඉඩ තියෙනවා. මොකද, පහුගිය අවුරුද්දේ හිටපු ක්ෂුද්‍රජීවීන්ගේ culture එකට වඩා ඊට පසු අවුරුද්දේ wort එකට වහපු ක්ෂුද්‍රජීවීන්ගේ culture එක වෙනස් වන්නට ඉඩ ඇති නිසා. (අපි දන්නා අනිත් බියර් හැම එකටම ඒ ඒ නිෂ්පාදකයා විසින් එකතු කරන්නේ, යම් lab එකක් තුළ සකසා ගත් යීස්ට් වර්ග පමණක් නිසා ඒවා සම්බන්ධයෙන් මේ ගැටළුව ඇති වන්නේ නැහැ). මේ නිසා, සෑම lambic බියර් වර්ගයක්ම වගේ වෙළඳපොලට නිතුක් කරන්නේ lambics කිහිපයක කළවමක් විදිහටයි. ඒ කියන්නේ කළින් අවුරුදු දෙකක සැකසූ lambic බියර් වලින් කොටසක් ඉතුරු කරගෙන ඉඳලා, අළුත්ම lambic එකට කළවම් කරන එක. ඒ වගේම, මිශ්‍ර කරන්නට පෙර මේ අළුත්ම lambic එකෙන් කොටසකුත් අනාගත beer කාණ්ඩ සමග මිශ්‍ර කිරීම සඳහා ගබඩා කරගන්නවා. ඒ වගේම තමයි, බියර් එකට යම් පළතුරු රසයන් මිශ්‍ර කිරීම හෝ වෙනත් ඒල් වර්ගයක් සමග මිශ්‍ර කොට blend එකක් විදිහට වෙළඳපොලට නිතුක් කිරීම.
පරණ lambics සහ අළුත් lambics මිශ්‍ර කර සකසන Lambic මාදිලියේ බියර් තමයි ඔබට Gueze නමින් වෙළඳපොලේ දකින්නට ලැබෙන්නේ. Cherry හෝ cherry යොදා සැකසූ pulp එකක් මිශ්‍ර කර සාදන Lambic බියර් සඳහා Kreik යන නම භාවිතා කරනවා. Raspberry භාවිතා කළොත්, ඒකේ නම Framboise!




Great explanation brother ❤️
ReplyDelete