බියර් නිෂ්පාදනය - පළමු කොටස

බියර් නිෂ්පාදනය කරන ක්‍රියාවලිය බැලූ බැල්මට සරලයි. ඒත්, ඒකට අදාල එක් එක් පියවර අනුගමනය කරන විදිහ, අවස්ථාව සහ ඊට අදාල අමුද්‍රව්‍ය යොදාගන්නා අනුපාතයන් වගේ කාරණා අනූව, විවිධ Styles/මාදිලි වල බියර් වගේම, ඒ ඒ නිෂ්පාදකයාට ආවේණික බියර් වර්ග නිර්මාණය වෙලා තියෙනවා.

මූලික වශයෙන් බියර් නිෂ්පාදනයට යොදාගන්න අමුද්‍රව්‍ය 4 ක් තියෙනවා.
  1. ජලය
  2. Malt (ප්‍රරෝහණය/පැළවීම ආරම්භ වීමට සලසවා වේලා ගත් බාර්ලි ඇට)
  3. Hops (බියර් මල්)
  4. යීස්ට්
මීට අමතරව විවිධ බියර් මාදිලි වලදි, යොදාගන්නා තිරිඟු, ඕට්ස්, කොත්තමල්ලි වගේ අමතර අමුද්‍රව්‍යත් තියෙනවා. ඒත් අපි ඒවා ගැන ඉදිරියේදි විස්තර ඇතිව කතා කරමු.

Malt ගැන සරල හැඳින්වීමක්
බාගෙට පැළවීම පටන්ගත් මොනම හරි වියලි ධාන්‍ය වර්ගයක් නිකමට වගේ හපලා රස බලලා තියෙනවානම්, ඔයාලා දැනටමත් දන්නවා මේ වගේ ප්‍රරෝහණය පටන්ගත් බීජ තුළ සීනි ගතියක් (පිශ්ඨය) වර්ධනය වීමක් සිද්ධවන බව. මේ අයුරින්, පැළවීමේ ක්‍රියාවලිය ආරම්භ වීමට සලසවා විවිධ ප්‍රමාණයන්ට වේලාගත් බාර්ලි තමයි Malted Barley හෙවත් Malt කියලා සරලව හඳුන්වන්නේ. පහළ පින්තූරයේ තියෙන්නේ, ඒ වගේ malt කිහිපයක්. මේ වගේ එක් එක් ප්‍රමාණයන්ට වියලා ගත් හෝ කර වන තුරුම roast කරගත් විවිධ මෝල්ට් නියැදි, විවිධ බියර් වර්ග සඳහා යොදාගන්නවා.

source/credit https://crispmalt.com

බියර් නිෂ්පාදනයේදි, Malted Barley වල ඇති මේ පිෂ්ඨය කොටස තමයි සීනි බවට හරවාගෙන අවසානයේ ඇල්කොහොල් නිෂ්පාදනයට පදනම සකසා ගන්නේ. මේ විදිහට සකසන ලද මෝල්ට් වර්ග බියර් නිෂ්පාදකයන්ට සපයන සමාගම් වෙනම තියෙනවා.

Hops ගැන සරල හැඳින්වීමක්
"බියර් මල්" විදිහට ලංකාවේ අප විසින් හඳුන්වනු ලබන Hops කියන්නේ, ගංජා වගේම Cannabaceae පවුලට අයත් ශාක විශේෂයක මල් වර්ගයක්. Malt වගේම Hops කියන මල් වර්ගයත් වෙනම කරන සමාගම් තියෙනවා. ඒවා වගාකොට, අස්වැන්න නෙලාගැනීමෙන් පසුව මේ සමාගම් විසින් බියර් නිෂ්පාදකයන් සඳහා සාමාන්‍යයෙන් මේවා නිකුත් කරන්නේ hop pellets නමැති නිෂ්පාදනයක් ආකාරයටයි. අමු බියර් මල් සම්පිණ්ඩනයට ලක් කර මේ hop pellets නිපදවීමෙන් පසුව මේවා ඇසුරුම් කිරීම සහ ප්‍රවාහනය පහසු වීම මීට හේතුවයි. පහළ පින්තූරයේ වම් පැත්තෙන් තියෙන්නේ, අස්වැන්න විදිහට නෙලාගත් සාමාන්‍ය අමු hops. ඒකේ දකුණු පැත්තේ තියෙන්නේ, ඒවා වියලා pellets විදිහට සකසා ඇති වෙළඳ නිෂ්පාදනයයි.

Image credit: https://www.northernbrewer.com/

දැනට මේ Malts සහ Pelleted-Hops කියන්නේ බියර් නිෂ්පාදනයේ මූලික අමුද්‍රව්‍ය දෙකක් කියන එක පමණක් මතක තියාගෙන, Malts සහ Pelleted-Hops නිපදවීම ගැන, මේ විදිහටම, අපි වෙනම ලිපි පෙලක කතා කරමු.

බියර් කාණ්ඩයක් (batch එකක්) නිපදවාගැනීමේ ක්‍රියාවලිය, හරි සරලව, පහළ රූපයේ බලාගන්න පුළුවන්.

(රූප සටහන -I) Image Credit: www.clipartkey.com

MILLING

බියර් කාණ්ඩයක් නිෂ්පාදනය කිරීමේදි, පළමුවෙන්ම කරන දෙය තමයි, Malt බවට පත් කළ බාර්ලි ඇට කුඩා කැබැලි වලට බිඳ ගැනීම. මේ ක්‍රියාවලිය Milling විදිහට හඳුන්වන අතර, මේක හරියට වී-මෝලකට දීපු හාල් සියල්ල හුණුසාල් වනතුරු කොටලා වී පොතු සමගම මිශ්‍රව නැවත ලබාගන්නවා වගේ වැඩක්. පහළ පින්තූරයේ තියෙන්නේ, ඒ විදිහට බිඳගත් (Milling කරගත්) Malt වල පින්තූරයක්.

Image Credit: https://milehidistilling.com/

MASHING

බියර් නිෂ්පාදනයේ මීළඟ පියවර වන්නේ, ඉහත කී ආකාරයට Milling කරගත් Malt සියල්ල, Mash Tun නැමැති එක්තරා විශේෂ බඳුනකට දමා ඊට උණුසුම් ජලය එක් කර කළවම් කිරීමයි. මේ Mash Tun එක කියන්නේ එක්තරා ආකාරකින් යාන්ත්‍රික උඳුනක්. එය තුළ ඉතා සෙමින් නොකඩවාම භ්‍රමණය වන විශාල තල කිහිපයක් මගින් මේ මෝල්ට් සහ ජලය මිශ්‍රණය කළවම් කිරීම දිගටම සිදු කෙරෙන අතර, මේ ක්‍රියාවලිය පුරාවට අවශ්‍යවන සෙල්සියස් අංශක 45~78 අතර උෂ්ණත්වය දිගටම පවත්වා ගැනීමත් මේ Mash Tun එක විසින්ම සිදු කරනවා. මේ process එකට කියන්නේ Mashing කියලයි. මේ Mashing ක්‍රියාවලිය සිදුවන කාලය ඇතුළතදි, Mash එකේ ඇති Malts වල ස්වභාවික එන්සියම ක්‍රියාත්මක වෙලා ඒවායේ ඇති පිශ්ඨය සාමාන්‍ය සීනි බවට බිඳවැටීම සිදුවෙනවා. මෙන්න මේ සීනි ටික Malt වලින් extract කරගැනීම තමයි, මෙහිදී, ප්‍රධාන අරමුණ වන්නේ.

LAUTERING

ඉන් අනතුරුව, මේ මිශ්‍රණයෙන් බාර්ලි ඇට වල රොඩු ටික පෙරා ඉවත් කර, සීනි මිශ්‍ර උණු ජලය කොටස පමණක් වෙන් කරගන්න අවශ්‍යයි. මේ සඳහා Mash Tun එකේ ඇති සම්පුර්ණ මිශ්‍රණයම, නළයක් දිගේ එවැනිම තවත් බඳූනක් වන Lautering Tun එකට මාරු කර ගැනීම සිදු කරනවා. Lautering Tun එක තුලත් නඟුලක් වගේ සිහින් තළ සහිත කොටසක් සෙමින් භ්‍රමණය වෙමින් (Mash එක කූරු ගාමින්) පවතින අතර, එහි පතුළේ ඇති දැලක් ආකාරයේ කොටසකින් පෙරීමකට ලක්වන සීනි-ද්‍රාවණ කොටස, Lauthering Tun එකෙන් ඉවත් වෙමින්, Boiling Kettle නැමැති තවත් බඳුනක් කරා සිහින් නළ මාර්ග කිහිපයක් හරහා ගමන් කරනවා.
 

Image Credit: http://www.themashtun.co.uk/

Water: (ඉහත රූප සටහනේ පරිදි):

දියර ටික හිඳිගිය පසුව, Lautering Tun එකේ ශේෂ වන රොඩ්ඩ තුළට නැවතත් ජලය (පීඩනය කොට) විදීමකට ලක් කිරීමත්, ඒ අතරතුරදී පෙර පරිද්දෙන්ම එය කූරු ගාන්නට සලස්වා ජලය පෙරී ඉවත් වන්නට සැලැස්වීමත් බොහෝ වෙලාවට මෙහිදී සිදුකරනවා. ඒකේ අරමුණ තමයි, හැකි උපරිමයෙන්ම මෙහි තැවරී ඇති සීනි කොටස සෝදා Boiling Kettle එක දක්වා යැවීම.

බියර් නිෂ්පාදනයේදි, මේ විදිහට වෙන්කර Boiling Kettle එකට පුරවාගත් සිනි ද්‍රාවණය මෙතැනින් එහාට දිගටම හඳුන්වන්නේ Wort එක කියලයි.

මෙන්න මේ Wort එක තමයි එතැනින් එහාට brewing process එකේ ඉදිරියට යන්නේ. Lautering Tun එක තුළ ඉතිරිවන Malt රොඩු ටික එයින් ඉවත් කර, ගවයන් සඳහා ආහාර හදන්න යවනවා.

ඉහත ක්‍රියාවලිය තුළදී, Malt වලින් වැඩි සීනි ප්‍රමාණයක් wort එක තුළට Extract කරගන්නා තරමට, ඒ wort එක භාවිතා කර නිපදවා ගත හැකි මධ්‍යසාර-ඇල්කොහොල් ප්‍රතිශතය වැඩියි. බොහෝ වෙලාවට වැඩි ඇල්කොහොල් ප්‍රතිශතයක් ඇති බියර් වල පැණි රසක් දැනෙන්නට හේතු වන්නේත්, මේ විදිහට වැඩි ඇල්කොහොල් ප්‍රතිශතයක් ලබා ගැනීමේ අරමුණින් සැකසූ Wort එකක් භාවිතා කිරීමේදි අවශේෂ වන සීනි (Residual Sugars) නිසයි (උදාහරණ: Stout, Bock). ඒත් මේ සීනි සම්පූර්ණයෙන්ම වගේ පරිභෝජනය කරන්නට Yeast වලට ඉඩ හැරීම මගින්, “වියළි රසය” හෙවත් “Dry Taste” විදිහට හඳුන්වන පැණි රස අවම කිරීමත්, සමහර බියර් වර්ග නිපදවීමේදි කරන දෙයක් (උදාහරණ: Brut IPA).

කොහොම නමුත්, බියර් නිෂ්පාදකයන්ගේ ප්‍රධාන අරමූණ වන්නේ වැඩි ඇල්කොහොල් ප්‍රතිශතයක් ලබා ගැනීමම නෙවෙයි. ඒ නිසා, ඒ ඒ නිෂ්පාදකයා විසින් තමන්ට අවශ්‍ය රස, සමතුලිතභාවය සහ මධ්‍යසාර ප්‍රතිශතය ලබාගැනීම සඳහා, මේ අන්තයන් දෙක අතර තමන්ගේ පරාසය මොකක්ද කියන එක තෝරාගෙන, ඒ අනූව තමන් භාවිතා කරන Malt එක (Pale ~ Dark) මොකක්ද, මොනතරම් සීනි ප්‍රමාණයක් extract වෙන පරිදි Mashing කරගන්නවාද කියන එක වගේ දේවල් තීරණය කරනවා.

BOILING & ADDING HOPS

Boiling Kettle එක හරියට අපි ගෙවල්වල භාවිතා කරන Pressure Cooker එක වගේ දෙයක්. මේ අවස්ථාවේදි තමයි, බියර් වල තිත්ත රසය ලබාගන්නට යොදන Hops ටික මේ Wort කියන ද්‍රාවණයට මුලින්ම එකතු කරන්නේත්. (ඉහත රූප සටහනේ boiling kettle එකට උඩින් Hops කියලා සටහන් කරලා තියෙන්නේ මේ නිසයි). මේ විදිහට Hops එකතු කරගත් wort එක, තව දුරටත් සෙල්සියස් අංශක 80 කට වඩා අධික උෂ්ණත්වයක් (පීඩන තත්වය අනූව නටන උෂ්ණත්වයක්) යටතේ තව දුරටත් Boiling Kettle එක තුළ පැය දෙකකට ආසන්න කාලයක් පුරාවට උණු කරවා නටවා ගන්නවා.

නිෂ්පාදනය කරන බියර් වර්ගය අනූවත්, ඒ ඒ නිෂ්පාදකයා විසින් ලබාගන්නට උත්සාහ කරන රසය, සුවඳ වර්ග සහ සුවඳ ප්‍රමාණයන් අනූවත්, මෙහිදී භාවිතා කරන hops වර්ග/ප්‍රමාණයන් සහ ඒවා එකතු කරන පිළිවෙල වෙනස් වෙන්න පුළුවන්. අපි ඒවා ගැනත් ඉදිරියේදි විස්තර ඇතිව කතා කරමු. දැනට සරලව මතක තියාගන්න, මේ hops එකතු කිරීම කියන්නේ බියර් වල තිත්ත රසය සහ සුවඳ හෙවත් Aromatic profile එකට ලොකු දායකත්වයක් ලැබෙන පියවරක් කියන එක පමණක්.

COOLING & TRANSFER FOR FERMENTATION

Boiling Kettle එකෙන් ඉවත්කර ගන්නා wort එක, නළයක් තුළින් ගමන් කර තවත් ලොකු බඳුනක් තුළට සුලියක් ආකාරයෙන් කැරකෙමින් නිදහස් වෙන්නට හැරීම තුළින්, hops නිසා එකතු වුණු රොඩු ඇතුළුව, තව දුරටත් wort එකේ පවනින රොඩු ටික ඒ බඳුනේ මැදට වෙන්නට ගොඩගැසෙන්නට සලස්වනවා. (ඉහත රූප සටහනේ boiling kettle එකට දකුණේන් ඇති බඳුන පතුලේ මැදට වන්නට අළු පාටින් තියෙන්නේ මේ රොඩු ටික). මෙහිදී වෙන් කොට ඉවත් කරන දියර කොටස හෙවත් wort එක, වාහනයක radiator එකකට සමානව ක්‍රියාකරන heat-exchanger එකක් තුළින් ගමන් කරමින්, සිසිලනය වෙමින්, මීළඟ පියවරට අදාල Fermenting Vessel එක දක්වා ගමන් කරනවා.

මේ process එකේදි, කළින් කියපු විදිහට මේ බඳුන මැදට එක් රැස් වන්නට සලස්වා ඉවත් කරන ලද රොඩු කොටස, පොහොර නිෂ්පාදනය වගේ දෙයකට යවනවා. ඒ විතරක් නෙවෙයි. ඉහත කී heat-exchanger එක තුලින් wort එක ගමන් කරවන අතරතුර ඒ තාපය උරාගන්නා පරිදි භාවිතා කරන පිරිසිදු සිසිල් ජලය නැවතත් ඉවතට එන්නේ රත් වූ ජලය විදිහටයි. වාහනයක radiator එකක් එන්ජිමේ තාපය උරාගෙන boil කරන විදිහ දැකලා ඇතිනේ. අන්න ඒ විදිහට මේ ක්‍රියාවලියේදි, රත්වීමට ලක්වන සිසිලන-ජලය නිකරුණේ නැවත නිවෙන්නට හැරියොත් එහි රැඳුණු තාපය අපතේ යනවා. ඒ නිසා, තවත් බියර් batch එකක් සඳහා හදන Mash එක වෙනුවෙන් මේ ජලය භාවිතා කිරීම මගින්, ශක්ති හානිය අවම කරන්නටත් සමහර බියර් නිෂ්පාදකයන් ක්‍රියාකරනවා.

FERMENTATION

Fermenting Vessel එක තුළදී තමයි, මේ ද්‍රාවණයට Yeast මිශ්‍ර කිරීම සහ Ferment වීම හෙවත් පැසවීමේ ක්‍රියාවලිය සිද්ධ වන්නට ඉඩ හරින්නේ. Yeast විසින් මෙම ද්‍රාවණයේ ඇති සීනි ටික පරිභෝජනය කරමින්, මධ්‍යසාර-ඇල්කොහොල් සහ කාබන් ඩයොක්සයිඩ් මුදාහැරීම සිදු කරනවා. බියර් නිෂ්පාදනය තුළ තීරණාත්මකම සහ වඩාත්ම Interesting පියවර මේක කියලා කිව්වොත් නිවැරදියි. ඔබ නිපදවන බියර් එක Lager එකක්ද, Ale එකක්ද කියලා තීරණය කරන්නේත්, ඒක මොන style එකේ බියර් එකක්ද කියලා තීරණය කරන්නට වැඩියෙන්ම දායක වන්නේත් මේ Fermentation කියන පියවරයි. Fermentation process එකෙන් පසුව ඉතින් කරන්න තියෙන එකම දේ තමයි, මේ මිශ්‍රණයෙන් ද්‍රව කොටස වෙන් කරගෙන වෙනම ගබඩා කර ඇසුරුම් කිරීම සහ බෙදාහැරීම. රොන් මඩ වගේ වෙන් කර ඉවත් කරනු ලබන යීස්ට් ටික ඌරන් වගේ සතුන්ට ආහාර සඳහා ගොවිපලවල් වලට යවනවා. (මාමයිට් කියන්නෙත් යීස්ට් සාරය කියලා නේද කියන්නේ? ඒත් ඒවා හදන්නෙත් මේ යීසට් සාරයෙන්ද කියලා මම නම් හරියටම දන්නේ නෑ).

මේක ටිකක් ලොකු මාතෘකාවක් නිසා, Fermentation Process එක ගැන මීළඟ ලිපියෙන් තව විස්තර කතා කරමු.

CONDITIONING

Fermentation එකෙන් පස්සේ, මූලික වශයෙන් බියර් එක නිෂ්පාදනය කරලා අවසානයි. යීස්ට් සහ ප්‍රෝටීන වලින් සැකසුණ රොන්මඩ වගේ sluge එක ඉවත් කළ බියර් ටික, Fermenting Vessel එක වගේම වෙනත් විශාල බඳුනක් තුල මාස තුනක් පමණ condition වෙන්න හරිනවා. මෙතැනදී, තව දුරටත් ඉතිරිවෙලා තියෙන සීනි සහ සජීවී යීස්ට් ක්‍රියාකාරීත්වයෙන්, බියර් එක තව දුරටත් ferment වෙනවා. ආම්ලික ගත් අවම වෙලා, බියර් එකේ රසය තව තවත් refine වෙනවා. සමහර බියර් වර්ග මේ විදිහටම ලී පීප්ප තුළ දමා condition කිරීමත් සාමාන්‍යයෙන් සිදු කරන දෙයක්.

FILTERING

නිෂ්පාදනය කරන බියර් වර්ගය අනූව, විශේෂයෙන්ම Pilsner වගේ විනිවිද පෙනෙන බියර් එකක් නම්, එය බෝතල්, Cans හෝ Kegs වල අසුරන්නට පෙර, පෙරහන් පද්ධතියක් තුළින් සම්පීඩනය කර යවා පෙරා පිරිසිදු කරගැනීමත් සිදු කරනවා. වෙළඳපොලේ මේ විදිහට Filter කළ බියර් වර්ග වගේම එහෙම Filter නොකළ බියර් වර්ගත් ඔබට මිලදී ගන්නට පුළුවන්.

Comments