මොනවද මේ IPA?

Ferment කරන ආකාරය සහ ඊට යොදාගන්නා යීස්ට් වර්ගය අනූව බියර් ප්‍රධාන වශයෙන් කාණ්ඩ දෙකකට බෙදෙන බව අපි දන්නවා. ඒ තමයි, ලාගර් සහ ඒල්. ඒ වගේම, යම් බියර් එකක වර්ණය අනූව ඒවා Dark හෝ Pale වශයෙන් කාණ්ඩ වීමත් සාමාන්‍ය දෙයක්. ලාගර් අතුරින් Pale (අඳුරු පැහැයක් නැති) Lager මේ කාලේ Dark Lager වලට වඩා වැඩි වශයෙන් දකින්නට ලැබෙනවා වගේම, ඒල් අතරිනුත් වර්තමානයේදි ඉතාමත්ම ජනප්‍රිය style එකක් තමයි Pale Ale: ඒ කියන්නේ ප්‍රධාන වශයෙන් සුදුමැලි (Pale) මෝල්ට් යොදාගෙන නිපදවන ලද, අඳුරු පැහැයක් නැති Ale. 

Photo by Amie Johnson on Unsplash   

India Pale Ale (IPA) කියන්නෙත් Pale Ale යටතේ බිහිවූ එක්තරා Style එකක්. සරලව කිව්වොත්, නැව් මගින් ඉන්දියාවට ප්‍රවාහනය කිරීම සඳහාම නිපදවන ලද Pale Ale එකක් නිසා තමයි මේකට India Pale Ale හෙවත් IPA කියන නම ලැබිලා තියෙන්නේ. 


මේ කතාව ආරම්භ වන්නේ, යටත් විජිත සමයේදි ඉන්දියාවේ කඳවුරුගතව හිටපු බ්‍රිතාන්‍ය සොල්දාදුවන්ට පානය කිරීම සඳහා එංගලන්තයෙන් නැව් හරහා ඉන්දියාවට බියර් යැවීමේ සිද්ධියක් පදනම් කරගෙනයි. ඉන්දියාව කියන්නේ ඝර්ම කළාපයේ පිහිටි රටක් නිසාත්, මේ නැව් සෑහෙන දින ගණනාවක් මෙවැනි දේශගුණික පරිසරයකට නිරාවරණය වෙමින් ගමන් ගන්නා නිසාත්, සමහර බියර් කාණ්ඩ එහෙම පිටින්ම නරක් වෙලා, පානයට ගත නොහැකි තත්වයට පත්වෙලා තියෙනවා.


Image credit: https://www.smilebrewing.com/


බියර් එකක මධ්‍යසාර ප්‍රතිශතය යම් තරමකින් ඉහළ නැංවීම සහ hops සංයුතිය වැඩි කිරීම මගින්, එය වායුගෝලය හරහා එන බැක්ටීරියා වලට අහිතකර මාධ්‍යයක් බවට පත් කරන්නට හැකි බව මේ අය විසින් වටහා ගන්නා ලද අතර, ඒ විදිහට මධ්‍යසාර ප්‍රතිශතය යම් තරමකින් ඉහළ නංවා hops සංයුතිය වැඩි කර නිපදවන ලද Pale Ale එක තමයි India Pale Ale විදිහට ප්‍රචලිත වුණේ. ඉන්දියාවට ප්‍රවාහනය කරන ලද බියර් ප්‍රධාන වශයෙන් Pale Ale වුණේ ඇයි කියලා සඳහනක් නෑ. නමුත්, ඒකට හේතු විය හැකි කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි, උණුසුම් දේශගුණයක් ඇති කළාපයකදි Dark Ale වල තියෙන ඝන බව සහ (පැණි රසට හුරු) මෝල්ට් රසයන්/සුවඳ බහුල ගතියට වඩා Pale Ale වල තියෙන සැහැල්ලු බව, පිපාසය නිවාලනසුළු ගතියට බොහෝදෙනා කැමැති වීම. අනෙක තමයි, Dark Malts වලට වඩා Pale Malts වලින් ලබා ගත හැකි සීනි/පිශ්ඨය ප්‍රතිශතය (fermentable sugars) වැඩි වීම.


මේ අනූව, මුල් කාලයේදි නිෂ්පාදනය කෙරෙන ලද IPA කියන්නේ ඒ කාලයේ තිබුණු අනෙකුත් ඉංග්‍රීසි බියර් වලට වඩා මධ්‍යසාර ප්‍රතිශතය තරමක් වැඩි, hops අන්තර්ගතය ඉතාමත්ම වැඩි, අඳුරු පැහැයෙන් ඉතාම අඩු Pale Ale එකක්. (මෙතැනදී, “IPA වල මධ්‍යසාර ප්‍රතිශතය අද අපි දකින අනිත් බියර් වලට සාපේක්ෂවත් වැඩි විය යුතුමයි” කියලා වැරදි අදහසක් ගන්න එපා: මොකද, ඒ කාලේ එංගලන්තයේ Mild වගේ සාමාන්‍ය ඒල් වර්ග වලට තිබුණේ 2%-3.5% වගේ ඉතාම පොඩි මධ්‍යසාර ප්‍රතිශතයක්. එහෙම බලද්දි, ඒ කාලේ විදිහට 5%-7% ABV කියන්නෙ සාපේක්ෂව ලොකු අගය පරාසයක්). 


බ්‍රිතාන්‍යය ඇතුළු යුරෝපීය රටවල්වල හැදෙන hops වල තියෙන රසයන්, වත්මන් ඇමෙරිකානු hops ප්‍රභේදවල තරම් tropical නැහැ. ඇමෙරිකානු hops ප්‍රභේදවලින් බියර් එකකට ලැබෙන අඹ, අන්නාසි, පැෂන්ෆෘට්, බෙලි, පැපොල්, ගඳපාන මල්, පයින් ගස්/රෙසින්, ග්‍රේප්ෆෘට් වැනි සුවඳ වර්ග වෙනුවට, යුරෝපීය hops ප්‍රභේදවල තියෙන්නේ earthy notes වශයෙන් පොදුවේ හඳුන්වන සුවඳවල් (හෙවත් ලැවෙන්ඩර් වැනි පොළවට ආසන්නව පිපෙන මල් යායක් හෝ අළුතෙන් තණකොළ කපන ලද පිට්ටනියක් අසලින් යද්දි දැනෙන සුවඳ), thyme, mint, pepper වැනි spicy සුවඳවල්, මිදි වර්ග සහ පැඟිරි වැනි සුවඳ වර්ගයි. බියර් කර්මාන්තය තුළ bittering හෙවත් තිත්ත රසය ලබා ගැනීම සඳහා hops භාවිතා කිරීම දිගටම නොවෙනස්ව පැවතුණත්, වර්තමානයේදි IPA නිපදවන බොහෝ අය ඒ සඳහා hops වර්ග යොදාගන්නේ ඒවායින් නිකුත්වන පුදුමාකාර ප්‍රබල සුවඳ වර්ග ලබාගැනීමේ අදහස මූලික කරගෙනයි. නමුත්, අපි මේ කතා කරන මුල් කාලයේදි එවැනි නැඹුරුතාවයක් නොපැවති නිසා, වැඩි hops මාත්‍රාවක් එකතු කිරීමෙන් බියර් එකට ලැබුණු අමතර සුවඳ වර්ග වුණත් යම් යම් අන්තවලට බර, අති ප්‍රබල සුවඳවල් නෙවෙයි. ඒ කාල වකවානුවේදි නිපවන ලද IPA වලට, අපි අද වෙද්දි වෙළඳපොළේ දකින තරම් ලොකු විවිධත්ව පරාසයක් නොතිබෙන්නට හේතුවත් ඒකයි.


අදටත් English IPA කියන්නේ American IPA styles වලට සාපේක්ෂව ඉතාම සමබර බියර් style එකක්‍. මෝල්ට් රස/සුවඳ අභිබවා hops වලින් එන (Earthy, Spicy) රස/සුවඳ මූලික වුණත්, (පාන්, බිස්කට්, ටොෆී වැනි) මොල්ට් සුවඳ/රස සහ කැරමල් ගතිලක්ෂණද අන්තර්ගතයි. තිත්තට හුරුව වියළි අවසානයක් ලබා දෙන අතර, පැඟිරි රසයන් ඉතිරි නොවන, මධ්‍යම ඝන බවක් මේවායේ දකින්නට පුළුවන්. 


ඇමෙරිකානු craft beer කර්මාන්තයේ අවදි වීමත් සමගම ඔවුන් ඔවුන්ගේ රටේ පරිසරය තුළ වගා කරන ලද hops වර්ග භාවිතා කර IPA නිපදවන්නට උත්සාහ කිරීමත් සමගම IPA කියන style එකට විශාල විවිධත්වයක් එකතුවුණා පමණක් නෙවෙයි, සමහරු IPA නොවන බියර් ප්‍රතික්ෂේප කරන මට්ටමට මේ style එක ජනප්‍රිය වුණා. විවිධාකාර hops වර්ග විවිධ ආකාරයෙන් භාවිතා කිරීම හරහා අපූර්ව රස වට්ටෝරු නිර්මාණය කිරීමට හැකි බව මිනිස්සුන්ට වැටහෙන්නට මෙය හේතු වූනා පමණක් නෙවෙයි: මේ ආකාරයේ විවිධාකාර රස වට්ටෝරු හඳුන්වා දෙමින් නව නිර්මාණ කිරීම මෙවැනි craft breweries අතර තරඟයක් බවට පත් වුණා කිව්වොත් නිවැරදියි. ඇමෙරිකාවේ බටහිර වෙරළාසන්න නගර ආශ්‍රිතව බිහිවූ මෙවැනි සුවිශේෂී (distinctive) style එකක් තමයි අද වෙද්දි West Coast IPA කියලා හඳුන්වන්නේ. අහම්බෙන් වගේ, මෙයට අභියෝග කළ හැකි මට්ටමේ එවැනිම සුවිශේෂී, නමුත් ඊට හාත්පසින්ම වෙනස් IPA එකක් නිර්මාණය වුණේ ඇමරිකාවේම දකුණු වෙරළ ආශ්‍රිතව New England නමින් හඳුන්වන region එකේයි. මේ නිසා එය East Coast IPA හෝ New England IPA ලෙස හඳුන්වනවා. මේ New England කියන region එකට අයත් Vermont ප්‍රාන්තය මේ බියර් එකේ ආරම්භක ස්ථානය විදිහට ඉතාම ප්‍රසිද්ධ නිසා, සමහරු මෙය Vermont IPA විදිහටත් හඳුන්වනවා. කොහොම නමුත්, අපි මේ වෙද්දි මිලදී ගන්නා බොහෝමයක් IPAs මේ කියන අන්ත දෙකට අතරමැදිව, නමුත් එයින් එක් අන්තයකට තරමක් බරව නිපදවන ඒවා බවත් කිව යුතුයි. මොකද, craft beer නිපදවන බොහෝ දෙනා යම් යම් අන්ත වලට හිරවෙලා සීමාවෙන්න අකමැතියි. ඒ නිසා, මෙවැනි බියර් මිළදී ගන්නා අපි වුණත් West Coast IPA එකක් හෝ East Coast IPA එකක් අපේක්ෂා නොකර, අපි මිළදී ගන්නා IPA එකක් තුළ West Coast Style ලක්ෂණ සහ East Coast Style ලක්ෂණ වශයෙන් ඒ ඒ රස/සුවඳ observe කිරීමේ මානසිකත්වයකින් තමයි ඒවා taste කරන්නේ. (පහළින් තියෙන රූපයේ දැක්වෙන්නේ මේ ආකාරයට හිතාමතාම West Coast සහ East Coast ලක්ෂණ වලට අතරමැදි ලක්ෂණ සහිතව හදන බියර් එකක් ඒ අය Mountain Style IPA එකක් විදිහට හඳුන්වා දී ඇති ආකාරයයි. මොකද, වෙරළවල් දෙකකට මැදි පරිසරයක් කියන්නේ කඳු සහිත එකක් නිසා).


Image credit: https://www.porchdrinking.com/


කොහොම නමුත් මේ ලිපියෙන් මම බලාපොරොත්තු වුණේ IPA ගැන පොදුවේ හැඳින්වීමක් කිරීමට පමණක් නිසා, IPA යටතේ එන මෙවැනි styles ගැන වෙනත් ලිපි කිහිපයක්‍ හරහා වෙනම ආකාරයක සංසන්දනය කිරීමක් කරන්නම්. අදට මේ ටික ප්‍රමාණවත්!


Comments