බියර් පානය සඳහා වීදුරු භාවිතය
Pub එකක draught එකකින් ලබාගන්නා බියර් ඔබට කොහොමටත් ලැබෙන්නේ බියර් වීදුරුවක් විදිහටයි. මොකද, draught එකට බියර් සපයනු ලබන්නේ තරමක් විශාල keg අසුරන වලින් නිසා, යමෙකුට පානය සඳහා ලබාදෙන බියර් අනිවාර්යෙන්ම වීදුරුවක පිළිගන්වන්නට සිද්ධ වන නිසා. බියර් බෝතලයක් හෝ Can එකක අසුරන ලදුව එන බියර් එකක් පානය කිරීමේදි නම්, කෙනෙකුට එය බියර් බෝතලය හෝ can එක පිටින්ම අතේ තබාගෙන පානය කළ හැකියි. නමුත්, බොහෝ දෙනෙක් එසේ නොකර එය නැවත වීදුරුවකට වත්කොට පානය කරන්නට පෙළඹෙනවා. මේ සඳහා මූලිකවම බලපාන කාරණා පහත ආකාරයෙන් සරලව දැක්විය හැකියි.
- වර්ණය සහ දැකුම්කළු බව තුළින් overall experience එක වැඩිදියුණු වීම
- පෙණ සහ අනෙකුත් දෘෂ්‍යමය ගුණාංග අනූව එය පිළිබඳව යම් නිගමණයන් කිරීමට හැකිවීම
- නියම සුවඳ සහ රසයන් හරියාකාරව විඳීමට හැකිවීම
- අතිරික්ත CO2 නිසියාකාරව ඉවත්වීමට සලසා පානය කිරීමට හැකිවීම
මේවායේ සත්‍ය-අසත්‍ය භාවය හරියටම පරීක්ෂා කිරිමට නම්, තරමක වැඩි අවධානයක් දීලා ඒ දේවල් අධ්‍යයනය කරන්න වෙනවා. ඒත්, මිතුරන් එක්ක බියර් පානය කරන වෙලාවට ඔය තරම් සියුම් දේවල් ගැන අධ්‍යයනය කරන්නට අවශ්‍ය කාටද, එහෙම කරන එකේ වැදගත්කම මොකක්ද, ඒක යම් අවධානයක් දෙන්නට තරම් වටිනා දෙයක්ද කියන ගැටළු ටිකත් මතු වෙනවා.
Beer Tasting Tour එකක් ගියොත් නම් එතැනදී ප්‍රධානම කාරණය වන්නේ බියර්. නමුත් මිතුරන් අතර සංවිධානය කරගත් සාදයක් වගේ පොඩි "සෙට්වීමකදී", බියර් කියන්නේ මිතුරන් සමග ඒ කාලය ගත කිරීමට ඔබ යොදාගන්නා එක්තරා උපකාරකයක් මිසක් එතැන තියෙන ප්‍රධානම දේ නෙවෙයි. ඔබ ඒ මොහොත ගත කරන්නේ ඔබටත් ඔබේ මිතුරන්ටත් වෙනත් කතිකාවත් වල නියැලෙමින් විනෝද වන්නට මිසක් බියර් එකක සියුම් රසයන් සුවඳවල් ගැන සැලකිලිමත් වෙන්න නෙවෙයි. ඒ නිසා "කොහොම බිව්වත්, මොකෙන් බිව්වත් වදින එක වදිනවා නම් ඒ මදැයි" කියලා ඔබට හිතෙන්නට පුළුවන්. (ඔය Hollywood Movies වල වුණත් මිනිස්සු කෙලින්ම ශීතකරණයෙන් එළියට ගන්න බියර් බෝතලේ පියන ගලවලා කටේ තියාගෙන බොන්නේ? ඒ වගේම party වලදි keg එකේ බටයෙන් කෙළින්ම බීලා ආතල් ගන්න එවුනුත් ඒ movies වල ඉන්නේ?)
මනා රසවින්ඳනයක් සඳහා
හැබැයි, බියර් එකක මාදිලිය අනූව ඒකෙන් උපරිම overall experience එක ලබාගන්නා විදිහ ගැන ඔබට අදහසක් තියෙනවා නම්, ඔබේ මිතුරු පිරිසට (ඔවුන් නොදැනුවත්වම වුණත්) එවැනි උසස් රසවින්ඳනයකට පසුබිම සකස් කර තැබීමට ඔබට පුළුවන්. ඒක හරියට web designing කරන කෙනෙක් user experience (UX) කියන මාතෘකාව යටතේ කරන දේවල් වලට සමානයි. ඒ ඒ බියර් මාදිලිය අනූව එය පිළිගැන්විය යුතු උෂ්ණත්ව පරාසය, වීදුරුව, ඒ සමග පිළිගැන්වීමට සුදුසු ආහාර වගේ දේවල් පමණක් නෙවෙයි, ඒ බියර් එක වීදුරුවට වත්කරන ආකාරය අනූව වුණත් ඒකෙන් ලැබෙන අත්දැකීම වැඩිදියුණු කළ හැකියි. ඔබ සමග එක්ව බියර් පානය කරමින් කාලය ගත කරන පිරිසට මේ සියුම් කාරණා ගැන කිසිම අදහසක් නැතත්, ඔබ පමණක් හෝ මේ දේවල් ගැන සැලකිලිමත් වෙලා ඒකට අවශ්‍ය වටපිටාව නිර්මාණය කළොත්, "ඒ සෙට්වීම නම් සුපිරි!" කියන තරමට හෝ ඒ අයට ඒ වෙනස අනිවාර්යෙන්ම දැනෙයි.
අඩු තරමින් මොකක් හෝ වීදුරුවක්...
ඉතින් මේ දේවල් අතුරින් අපි අද කතා කරන්නේ බියර් පානය සඳහා වීදුරුවක් භාවිතා කිරීම යන කාරණාව සම්බන්ධව පමණයි. එතැනදී, බොහෝ දෙනෙකුගේ අදහස අනූව පළමුවන නීතිය තමයි "බියර් එකක් පානය කිරීම සඳහා එය අනිවාර්යෙන්ම කුමන ආකාරයේ හෝ වීදුරුවකට වත්කරගන්න" කියන එක. සරලව කිව්වොතින්, එකෙන් කියැවෙන්නේ ඒ බියර් එක අසුරා එවන බෝතලය හෝ can එකෙන් කෙලින්ම බියර් පානය කිරීම වෙනුවට අනිවාර්යෙන්ම වීදුරුවක් භාවිතා කරන්න කියන එකයි. එතැනදි, ඔබේ නිවසේ තියෙන්නේ බියර් වීදුරුද, විස්කි වීදුරුද, වයින් වීදුරුද, කෝඩියල් වීදුරුද කියන එක වැදගත් නෑ. ඒ කොයි එක වුණත්, බෝතලයට හෝ can එකට වඩා ඒක හොඳයි කියන බව තමයි ඒකෙන් කියැවෙන්නේ.
වීදුරුවට වත්කර ගන්නා ක්‍රමය...
පෙණ නොනැගෙන ලෙස සීරුවෙන්?
කිසිසේත්ම පෙණ නොනැගෙන විදිහට සෙමින්/සීරුවෙන් බියර් වීදුරුවට වත්කර ගැනීම වඩාත් නිවැරදි ක්‍රමය බවත්, එහෙම කරන්නට හැකිවීම විශේෂ හැකියාවක් බවත් ලංකාවේ බොහෝ අය කියන දෙයක්. නමුත්, ඒක වැරදි විශ්වාසයක්.
Beer Bloating
මෙමගින් ඇතිවන පළමු අනිසි ප්‍රතිඵලය තමයි "beer bloating" කියන දේ. බියර් එක පානය කිරීමට පෙර එහි ඇති අතිරේක කාබන්-ඩයොක්සයිඩ් ටික නිසියාකාරව නිදහස් වන්නට අවස්ථාවක් ලබා නොදීම නිසා, එය නිදහස් වන්නේ යමෙක් ඒ බියර් ටික පානය කිරීමෙන් අනතුරුවයි. මේ නිසා, බියර් එකක් විවෘත කිරීමෙන් අනතුරුව වීදුරුවකට වත්කරමින් පෙණ තට්ටුවක් නිර්මාණය වන්නට සැලැස්වීම එක්තරා ආකාරයකින් වැදගත් වෙනවා. නමුත් පෙණ තට්ටුවේ වැදගත්කම මේක පමණක්ම නෙවෙයි.
සුවඳ සහ රසයන් රඳවා ගැනීමට නොහැකි වීම
බියර් වල ඇති මිනිස් දිවට දැනෙන රසයන් ගැන පමණක් කතා කළොත්, ඒවායේ තියෙන්නේ ආම්ලික රස, පැණි රස, තිත්ත රස සහ පැඟිරි රස වැනි මූලික රසයන් කිහිපයක සංයෝජනයක්. නමුත්, ඒ සමඟ මිශ්‍ර වන විවිධ සුවඳවල් (aroma) අනූව ඒ ඒ බියර් වල විවිධාකාරයේ සංකීර්ණ රසයන් ඇති බවක් අපේ සංවේදන ඉන්ද්‍රියයන් විසින් වටහාගනු ලබනවා. විවිධ බියර් මාදිලි අනූව ඒ ඒ බියර් වලට ආවේණික මොල්ට්-මූලික (malt-forward), එස්ටර/යීස්ට්-මූලික (ester/yeast forward) සහ බියර්මල්-මූලික (hops-forward) සුවඳ සහ රස සංයුතීන් තියෙන බව ඔබ දැනටමත් දන්නවා ඇති. ප්‍රධාන වශයෙන්ම යම් බියර් එකක් තවත් එකකට සාපේක්ෂව වෙනස් ලෙස අපිට දැනෙන්නේ මේ කාරණාව නිසයි.
ඒ නිසා යම්කිසි බියර් එකක් පානය කරන්නට පිළිගැන්වීමේදි, එහි සුවඳවල් සහ රසයන් හරියාකාරව නිදහස්වීමට සැලැස්වීමත්, බියර් එක පානය කරන කාල සීමාව පුරාවට එම ගුණයන් ආරක්ෂා වන්නට සැලැස්වීමත් වැදගත්. එහෙම නොවුණොත් ඔබේ බියර් එක ඉක්මණින්ම flat වෙලා යනවා.
පෙණ තට්ටුවෙහි අවශ්‍යතාවය
පෙණ තට්ටුව කියන්නේ හරියට එක්තරා ආකාරයක පියනක් වගේ දෙයක්. සාමාන්‍යයෙන්, වීදුරුව පතුලේ සිට නැගෙමින් බියර් එක හරහා එහි මතුපිට දක්වා ගමන් කරන CO2 රැගත් බුබුළු ඔබට දකින්නට පුළුවන්. ඒවා පෙණ තට්ටුවට යටින් එකතු වන්නේ CO2 මෙන්ම, බියර් එකේ ඇති සුවඳවල්ද ඒ තුළට පුරවාගනිමිනුයි. මේ පෙණ තට්ටුව මතුපිටින් ඇති බුබුළු (හෙමින් හෙමින්) බිඳී යන සීඝ්‍රතාවයට අනුකූලව ක්‍රම-ක්‍රමයෙන් මේ සුවඳවල් බියර් එකෙන් නිදහස් වෙලා පෙණ තට්ටුව මතින් දිගටම පවතිනවා. (ඒක හරියට ගඟක වතුර වෙල්ලක් බැඳලා ක්‍රමානුකූලව, යම් පාලනයක් ඇතිව සොරොව් තුළින් සෙමින් නිදහස් වන්නට සලස්වනවා වගේ වැඩක්). බියර් එකේ ඇති සුවඳ/රසයන් වායුගෝලයට එකවරම සීඟ්‍රයෙන් නිදහස් වෙලා බියර් එක flat වෙලා යාම මෙයින් පාලනය වන අතර, අනවශ්‍ය ලෙස වායුගෝලයේ ඇති ඔක්සිජන් සමග ගැටීම තුළින් බියර් එකේ රසය ක්‍රමයෙන් වෙනස් වී යාමද මෙමගින් පාලනය වෙනවා.
ඒ නිසා ඔබේ බියර් එකේ මේ පෙණ තට්ටුව නිර්මාණය වී තිබීම ඉතාමත්ම වැදගත්.
Image Credit: https://digitalnewsroom.media/
පෙණ තට්ටුව සකසා ගත හැකි ආකාර
- වීදුරුවට බියර් වත් කිරීමේදි, මුලින්ම පෙණ කොටසක් නිර්මාණය වන ආකාරයට නිදහස් කර, ඉන් අනතුරුව ඉතිරි කොටස වීදුරුවේ බඳ දිගේ කැළඹිලි රහිතව (නමුත් හැකිතාක් ඉක්මණින්), අර පෙණ තට්ටුවට හැකිතාක් ආසන්නව නිදහස් වන්නට සැලැස්වීම ඉතාම සාර්ථක ක්‍රමයක්.
- පෙණ කිසිවක් නොනැගෙන ලෙස පළමු කොටස වීදුරුවේ බඳ දිගේ පුරවාගෙන, ඉන් අනතුරුව පෙණ තට්ටුවක් සෑදෙන අයුරින් ඉතිරි ටික වීදුරුවට පුරවා ගැනීමත් තවත් ක්‍රමයක්.
මේ දෙකේදිම බියර් වීදුරුව ඉහලින් පෙණ තට්ටුවක් නිර්මාණය වෙන බව ඔබට වැටහෙනවා දෙයක්. නමුත් මේ ක්‍රම දෙක අතර වෙනස මොකක්ද කියන පිළිබඳව ඔබට ගැටළුවක් ඇති වන්නට පුළුවන්. බොහෝ වෙලාවට ඔබ නිතර පානය කරන Lager හෝ Pilsner වගේම සමහර වෙනත් බියර් මාදිලි සම්බන්ධයෙන් කතා කළත් ඇත්තටම මේ දෙකේ පොඩි වෙනසක් තියෙනවා. ඒ කියන්නේ, එකම බියර් එක වුණත් එය වත්කරගන්නා ආකාරය අනූව රසය/සුවඳ වෙනස් වන බවයි. (හැබැයි සමහර English IPAs සහ English Bitters වගේ බියර් වර්ග වලින් නම් ලොකුවට පෙණ තට්ටුවක් නිර්මාණය වෙන්නේ නැහැ. ඒ බියර් වර්ගවල විදිහ ඒකයි. එංගලන්තයේ සාම්ප්‍රදායිකව මිනිස්සු කැමැති වීදුරුව තනිකරම වගේ ද්‍රව බියර් වලින් පිරිලා තියෙනවා දකින්නට සහ බියර් වල හොඳ තිත්ත රසයක් තියෙනවාටයි. ඒ නිසා ඒ වගේ බියර් වර්ග බොන වෙලාවට මේ පෙණ තට්ටුව ගැන හිතන්න යන්න එපා).
ක්‍රමය-1: පෙණ ප්‍රථමයෙන්, ද්‍රව දෙවනුව
පළමු ක්‍රමය අනූව බියර් වීදුරුවට වත්කර ගැනීමෙන් බලාපොරොත්තු වන්නේ එහි රසයන් අතර හොඳ balance එකක් ලබා ගැනීමයි. ඒ කියන්නේ තිත්ත ගතියක් සැරට නොදැනී, පැණිරස සහ තරමක ආම්ලික රසයන් වැනි රසයන්ගේ හොඳ සංයෝජනයක් අත්විඳින්නට හැකිවීමයි. මෙහිදී, පෙණ තට්ටුව නිර්මාණය වීමෙන් පසුව, බෝතලයේ ඇති ඉතිරි බියර් ප්‍රමාණය වීදුරුවේ බඳ දිගේ, කැළඹිලි රහිත ආකාරයෙන් පෙණ තට්ටුව යටට කෙළින්ම යොමු කරවීම තුළින්, වායුගෝලයේ ඇති ඔක්සිජන් බියර් සමග මිශ්‍ර වීම අවම වෙනවා. ඒ නිසා බියර් එකේ තිත්ත රසය ඉස්මතු වෙනවා වෙනුවට, එහි ඇති මෝල්ට් රසයන් සමග ඉතාම සමබර බවක් අත්විඳින්නට හැකියාව ලැබෙනවා. මිතුරන් පිරිසක් සමග දිගින් දිගටම වැඩි බියර් ප්‍රමාණයක් පානය කරමින් කාලය ගත කරන්නට මේ ක්‍රමයට බියර් වත්කර ගැනීම වඩා සුදුසුයි.
ක්‍රමය-2: ද්‍රව ප්‍රථමයෙන්, පෙණ දෙවනුව
දෙවැනි ක්‍රමය අනූව, මුලින්ම ඉතා සෙමින් පෙණ නොනැගෙන ලෙස බියර් (වීදුරුව 45° ක් පමණ ආනත කරන ක්‍රමයට) වීදුරුවට දමාගන්නා අතරතුර යම් සැලකිය යුතු ප්‍රමාණයකට වායුගෝලයේ ඇති ඔක්සිජන් ඒ සමග ගැටෙමින් කළවම් වෙනවා. වීදුරුව කෙලින් කර (Draught කරාමය බාගෙට විවර කර හෝ බෝතලය තරමක් ඉහලට ඔසවා) පෙණ තට්ටුවක් නිර්මාණය කර බියර් එක ආවරණය කරගන්නේ එයින් අනතුරුවයි. ඒ නිසා මෙහිදී එම බියර් එකේ ඇති අනෙකුත් රසයන්ට වඩා තිත්ත ගතිය තරමක් ප්‍රබලව දැනෙනවා. පිපාසය අධිකව ඉන්න අවස්ථාවකදී හෝ කෑමක් කන ගමන් හෙමින් හෙමින් දිගු වේලාවක් එකම බියර් වීදුරුව පානය කරන අවස්ථාවකදී මේ ක්‍රමය වඩා සුදුසුයි. මොකද, තිත්ත කියන්නේ ඔබට පහසුවෙන් refresh වෙන්න උපකාරී වන ගුණාංගයක් වගේම, කෑමක ඇති ප්‍රබල රසයන් මුව තුළ රඳා පැවැතීම අවම කරන්නට උපකාරී වන දෙයක් නිසා.
(ඔබට නොපනෙන අයුරින් මේ ක්‍රම දෙකට එකම බියර් එකක් වීදුරු දෙකකට වත්කරන්න කියලා ඔබේ මිතුරෙකුට කියන්න. ඔහු හරියාකාරව ඒක කරලා තිබුණොත්, මේ දෙකෙහි රස බැලීම මගින් ඔබට මේ වෙනස වටහාගන්නට පුළුවන් වේවි. ඔබේ මිතුරෙකු pub එකක සේවය කරනවා නම් ඔබට මේක ඊටත් වඩා හොඳින් අත්විඳින්නට පුළුවන්. මොකද, බෝතලයෙන් වීදුරුවකට බියර් වත්කිරීමට සාපේක්ෂව draught එකේ කරාමයෙන් මේ වැඩේ පහසුවෙන්ම කරලා බලන්නට පුළුවන් නිසා)
ප්‍රසිද්ධ සංස්කෘතීන්

Image Credit: shopify.com
Hladinka pour ක්‍රමය
උදාහරණයක් විදිහට, Czech Republic වල ප්‍රචලිතම බියර් මාදිලිය තමයි Pilsner. (එය තරමක වැඩි hops සංයුතියක් ඇති, නමුත් හොඳ caramel malt base එකක් ඇති බියර් මාදිලියක් කියලා අපි කළින් කතා කළා.) එහේ Pubs වල ඉන්න Bartenders ලා Pilsner වීදුරුවකට වත් කරන සාමාන්‍ය (Hladinka) ක්‍රමය හරිම කුතුහලය දනවන කාරණාවක්. ඔවුන් මුලින්ම draught එකේ කරාමය බාගෙට විවෘත කරලා කැළඹුම් ප්‍රවාහයක් විදිහට බියර් වීදුරුව පතුලට විදින්නට සලස්වා, ඝන පෙණ තට්ටුවක් වීදුරුව පතුලේ නිර්මාණය කරගන්නවා. ඉන් අනතුරුව අර කරාමයේ නලය පෙණ තට්ටුව හරහා පහලට යවා, කරාමය පූර්ණ වශයෙන් විවර කොට, ඉතිරි බියර් ප්‍රමාණය සෙමින් (කැළඹිලි රහිතව) වීදුරුවට පුරවා ගන්නවා. මෙහි අරමුණ තමයි, බියර් ටික වායුගෝලයේ ඇති ඔක්සිජන් සමග නොගැටී, පෙණ තට්ටුව යටින් වීදුරුවට එකතු වීම!
Crisp pour ක්‍රමය
නමුත් ඔබ ඒ අවස්ථාව අනූව තිත්ත රසය වඩා ප්‍රිය කරන තත්වයක් තිබුණොතින්, ඔබට Crisp ක්‍රමය අනූව බියර් එක වත්කරන්න කියලා ඉල්ලන්නටත් පුළුවන්. ඒක හරියට අපි කියපු දෙවැනි ක්‍රමයට සමානයි. ඒ කියන්නේ, draught එකෙන් ද්‍රව බියර් පළමුව වීදුරුවට දමා, අවසන් හරියෙදි කරාමය බාගෙට වසා, පෙණ තට්ටුවක් නිර්මාණය වන්නට සැලැස්වීම. මෙය English pour නමිනුත් හඳුන්වන අතර, ලොව බොහෝමයක් pubs වල ප්‍රචලිත ක්‍රමයක්. ඒකට හේතුව වන්නේ ඉංග්‍රීසි ජාතිකයන් මේ ක්‍රමය ලොවට හඳුන්වා දීමක් නිසා නෙවෙයි. බ්‍රිතාන්‍යයන් සාමාන්‍යයෙන් බියර්වල තිත්ත රසයට විශේෂ ඇල්මක් දැක්වීම නිසා මෙයට English/British pour යනුවෙන්ද කියන බව සමහරුන්ගේ මතයයි.
මේ අකාර දෙකින් මොන විදිහට බියර් එක වත්කරගත්තත්, මෙතැනින් පසුව ඔබ බියර් වීදුරුව පානය කර අවසන් කරන තුරුම මේ සුවඳවල් සහ රසයන් විනාශ නොවී පවත්වා ගන්නට පුළුවන් වෙනවා.
ලොකු පර්ච්ඡේද ප්‍රමාණයක් ලියැවුණත්, මේක හරිම සරල කාරණාවක්. කොහොම නමුත්, කෙලින්ම can හෝ bottle එක කටේ තියාගෙන බොනවා වෙනුවට, මොකක්ම හෝ වීදුරුවක් භාවිතා කරන එක හොඳයි කියලා හිතෙන තැනට ඔබ පත්වෙලා ඇති කියලා මම විශ්වාස කරනවා. ඔබේ මිතුරෙක් "මචං හොඳ බියර් එකක් recommend කරපන්" කියලා යම් දවසක ඔබගෙන් විමසීමක් කළොත්, ඒ කෙනා ඔබෙන් එහෙම අහන්නේ උසස් අත්දැකීමක් ලබාගන්නා අරමුණින්. එතැනදි, ඒ උසස් අත්දැකීමට දායක වන්නේ ඔබ විසින් තෝරනු ලබන බියර් එක මොකක්ද කියන එක පමණක්ම නෙවෙයි කියන එක ඔබට මේ අනූව වැටහෙනවා ඇති. ඒ නිසා මෙවැනි සියුම් කරුණු ගැන පවා අවධානය යොමු කිරීමත් ඔබට බොහෝවිට වැදගත් වන්නට පුළුවන්.
බියර් වීදුරුවට වත්කිරීමේ තවත් ක්‍රම තිබුණත් (Mlíko, Snyt වැනි), ලංකාවේ ඔබට නම් ඒවා මොනතරම් දුරට ප්‍රියජනක වෙයිද කියලා විශ්වාස නැති නිසා, මම ඒවා ගැන අද කතා කරන්නේ නැහැ. බියර් සඳහා වීදුරුවක් භාවිතා කිරීම මොනතරම් දුරකට වැදගත්ද කියලා අපි අද කතා කරපු නිසා, ඒ ඒ බියර් මාදිලි සඳහා සුදුසු වීදුරු ගැනත් අපි පසුව සාකච්ඡා කරමු.


Comments
Post a Comment